Saturday, July 28, 2012

හෝඩි පොතේ මනමාලි

කවි කෙතට කැන්දන් එන අලුත් මනාලිය





ලංකාවේ කවි පොත් බිහිවීම අරුමයක් නොවේ. සතියෙන් සතියට, මාසයෙන් මාසයට කවි පොත් පිටවෙන අයුරු අපි දකිමු. එහෙත් ඒ පොත් ලියු ලේඛකයන්ට කවියන් යැයි කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ කිම් ද? සැබෑ කවියෙක් ඒ කෘතීන්ගෙන් එළිපත්තට නොපැමිණෙන බැවිනි. පුවත්පත්වල කවි පිටු පුරා කවි යැයි කියන පදවැල් ලියැවෙනු දකිමු. එහෙත් එබඳු රචනා අතුරින් සැබෑ කවිත්වයක් දැකිය හැක්කේ අහම්බෙනි.
අපි කවියන් ගැන අසා ඇත්තෙමු. කිවියරයන්ගේ කවි රස විඳ ඇත්තෙමු. ප්‍රවීණයන්ගේ රස පදවැල් මුවඟ මුවඟ මුමුණමින් රස බෙදා හදා ගන්නෙමු. වරෙක ඔවුනට පින් දෙන්නෙමු. මහගමසේකරයන්ට, විමලරත්න කුමාරගමයන්ට, රත්න ශ්‍රී විජේසිංහයන්ට එහා යන්නට කවියෙක් බිහි නොවීම ගැන අපි අදටත් ළතැවෙන්නෙමු. නව පරපුරේ කවියේ ඛේදවාචකය යැ යි වරෙක පසු තැවෙන්නෙමු. අපට ම අවමන් කරගන්නෙමු. ඒ අතර ලක්ෂාන්තලාගේ කවියක් දෙකක් එළියට එන විට සතුටෙන් සැනසෙන්නෙමු.
අමිල තේනුවර “තටු බිඳුණු හදවතක්, අත්අකුරු මල්වඩම” ලියමින් රසිකයන්ට දුන් සංග්‍රහයට කෘතඥ වෙමු. ඔහුගේ නවත ම කාව්‍ය සංග්‍රහය එළියට එන්නේ කාලයක් තිස්සේ නියඟයට හසු ව ඉරිතැලී වියළී ගිය කවි වැවෙහි පතුළින් උල්පතක් මතුවන්නා සේ ය. ඒ තරමට ම කවි පිපාසයෙන් හෙම්බත්ව සිටි රසිකයන්ට සිසිල බෙදන්නට හෝඩි පොතේ මනමාලි සමත් බැව් පැවසිය හැකි ය.
අමිල තේනුවර කවියා අනුගාමි කවියකු නොවන බැව් පෙන්වන ඔහුගේ පළමු කවි පොත තටු බිඳුණු හදවතක් පොත යි. සාහිත්‍යවේදියා ආභාසය ලබන ගුරුවරයා, පොත පතෙන් තම නිර්මාණ සඳහා යමක් උකහා ගන්නා බැව් සත්‍යයකි. ඒ එසේ නොවුවහොත් එහි කිසියම් අසාමාන්‍ය දෙයක් තිබෙනු ඇත. එබැවින් ම තේනුවරගේ පළමු කාව්‍ය ග්‍රන්ථයන්හි එවන් ආභාසයන්ගෙන් හැඩවුණු කවි තිබෙනු දුටුවෙමු. නමුත් ඔහුගේ ස්වරයෙන් අපි ඒවා රස වින්දෙමු.
අත්අකුරු මල්වඩමෙන් ඉන් තරමක් ඔබ්බට යමින් තමන්ගේ ස්වාධීනත්වය ඔපමට්ටම් කරගන්නට අමිල සමත් වෙයි. හෝඩි පොතේ මනමාලිය නම් ඔහුගේ ජීවිතයේ සැබෑවෙන් ආභාසය ලබමින් ඔහුගේ ස්වරයෙන් ලියැවුණු ඒවා බවට කිසිදු සැකයක් නැත. එතරම් ම මේ කවි පොතෙන් මතුවන කවියා ස්වාධීන කවිත්වයක් පිළිබිඹු කරයි. ඔහුගේ ස්වාධීනත්වයේ කූටප්‍රාප්තිය හෝඩි පොතේ මනමාලි කාව්‍ය ග්‍රන්ථයෙන් දකිමි.
අමිල ඔහුගේ හොඳම කවි අපට දෙන්නේ “හෝඩි පොතේ මනමාලියගෙනි”, මා එසේ සනිටුහන් කරනුයේ සීමන් හාමි සීයා පද්‍ය පන්තිය කියවීමෙන් අනතුරුව ය. කවියා තමන්ගේම සීයා සිහිනෙන් මුණගැසෙයි. කවියාගේ පරම්පරාවේ වත ගොත ඔහුට සිහිපත් කර දෙන්නේ සීයා යි. සීයාගේ කඳුළින් තමන්ගේ මුදුන් මුල දකින කවියා පිබිදෙයි. ඒ පිබිදීමෙනි කවියා ‘ගසක විමුක්තිය’ කවිය ලියන්නේ.
“ගසකි මම
මේ බලන් පපුවේ බෙනය
ඉස්සර හදවත තිබුණු තැන
ගොදුරු වී කෑරල කොට්ටෝරුවන්ට”


කවියකුගෙන් බලාපොරොත්තු වන්නේ මින් එහාට තවත් කිමෙක් දැ යි ඇතැමකුට සිතෙනු ඇත. ඔහුගේ වස්තු විෂය නැවුම් නොවන්නට පුළුවන. නමුත් ඒ කවිය සම්පූර්ණයෙන් ම නැවුම් ය. ප්‍රතිභාව මෙන් ම සතතාභ්‍යාසයෙන් අමිල ලැබ තිබෙන්නේ සුළුපටු පන්නරයක් නම් නොවේ. නව පරපුරේ කවියෙක් ලෙස අමිල නම් කළ යුතු වුව ද ඔහුගේ ඇති ආගන්තුක බවක් කාටනම් පෙනෙයි ද? වචනයක් වචනයක් පාසා දිවෙන්නේ ඔහු සතු වන පරිණත බව නොවන්නේ ද?
මිනිස් හදවත ස්පර්ශ කරන්නට තේනුවර කවියා දක්වන සමර්ථතාව පෙන්වන කවියක් වශයෙන් “බූරු සෝමෙ අයියාගේ කලාබර ආත්මය” අපට පෙනේ. වස්තු විෂයය නැවුම් ය. සංකල්පය සම්පූර්ණයෙන් ම නැවුම් ය. අප අතර වෙසෙන බූරු සෝමෙ අයියලාගේ අභ්‍යන්තරයට කිඳා බසින්නට කවියා සමත් වෙයි. මහගමසේකරට, රත්න ශ්‍රී විජේසිංහට නොදෙවෙනිව අමිල තේනුවර තබන ශක්තිමත් පියවර පිළිබඳ රසිකයා ආඩම්බර වෙනු නොඅනුමාන ය.
කවිය බිහිවෙන්නේ සමාජයෙන් ම බැව් පසක් කරන්නට කවි ලියන්නකු ලෙස අමිල තේනුවර හැඳින්වීමට හැකි පද්‍ය රැසක් මේ පොත තුළ අන්තර්ගත ය. “ඝණ්ටාර හදන මාමේ” පද්‍ය එවැන්නකි. අමිල නවක පරපුරේ කවියකු බව කියන්නට ද ඒ කවිය ඇතැමකුට උකහා පෙන්විය හැකි ය. ඊට හේතුව ඔහු එයින් මතුකරන සමාජ යථාර්ථය වෙනත් වස්තු විෂයයන් ඔස්සේ අපේ ජ්‍යෙෂ්ඨ කවින් ද විවිධ අවස්ථාවන්හි මතුකර පෙන් වූ බැවිනි. ඔහු සතු වන මානව දයාව සහ සංවේදීතාව මෙවන් කවි රැසකින් අපට මතුකර දක්වන්නට අමිල සමත් වෙයි.
අමිල තේනුවර කවියා සතු වන සංවේදීතාව සෑම විෂය ක්ෂේත්‍රයක් කරා ම පතුරුවන අයුරු රමණිය යි. “බයිසිකල් ආදර කරලිය, කලාව“ ආදි කවි තුළින් තේනුවර මතුකරන ශෘංගාරය විටෙක රසිකයා අමන්දානන්දයට පත් කරයි. ඔහු ඒ සඳහා භාවිත කරන කාව්‍ය භාෂාව කිසිදු කවියකු ඉදිරියේ දෙවැනි වෙයැ යි සිතිය නොහැකි ය. ඒ තරමට ම ඔහු සූක්ෂම වෙයි. සුපරීක්ෂාකාරී වෙයි. තරාතිරමක් නොබලා රස විඳින්නට ඒ කවි පන්ති කිහිපය අපට පාර පෙන්වයි. ශෘංගාරය කවියක හතර මායිමට ළං නොකර ගන්නා අයට එහි ආලෝකය කවියකට ලබාගන්නේ කෙසේ දැ යි කතුවරයා පෙන්වා දෙයි.
හෝඩි පොතේ මනමාලිය තුළින් සමාජය විනිවිදින අමිල, ඇතැම් විට සුලබ වස්තු විෂයයන් දුලබ අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් කරන අයුරු නැවුම් ය. සැබවින් ම ඒවා අලුත දෙවූ කිරි මෙන් නැවුම් ය. කොතලයක තිබු ජලය මෙන් සිසිල් ය. වරෙක එය ම හිත කීකු කීතුවලට ඉරා දමයි. යළිත් සුවපත් කරයි. රසිකයන් වශයෙන් අප අපේක්ෂා කරනුයේ ද එය ම නොවන්නේ ද?
කවියකුගේ පොහොසත්කම ගැන කවි ලියන තේනුවර “ගිණුම් අංකය” කවියෙන් මතුකරන සමාජ හාස්‍ය අපට මෙන් ම රටට ම ඇඟිල්ල දිගු කරයි. කවියාගේ ආර්ථික ඛේදවාචකය එදා පටන් අද දක්වා අඛණ්ඩව ගලා එන්නක් බැව් අපට සිහිපත් කරවයි. යථාර්ථය විනිවිදින්නට යන්නේ යමෙක් ද හේ යථෝක්ත ධර්මයෙහි ගොදුරක් වන බව ඔහු පසක් කර දෙයි. සමස්ත සමාජ අභිවෘද්ධිය උදෙසා පෙනී සිටින්නේ යමෙක් ද ඔහු සමාජය විසින් ම අසරණ කරන අයුරු සිත් සසල කරවමින් ලියන්නට අමිල උත්සාහ ගනී.
අද්‍යතනය සමාජයේ පැන නැඟෙන විවිධාකාර සංස්කෘතීන් ඉදිරියේ මුල් බැස ගත් අපේ සංස්කෘතික හර පද්ධතීන් කෙමෙන් අවරට යන අයුරු මේ කවියා ස්වකීය පද්‍ය කිහිපයකින් ම මතුකර දක්වයි. පොදු රසිකයා වශයෙන් කවියකුගෙන් බලාපොරොත්තු වන සමාජ සුසමාදර්ශයන්ට පාර පෙන්වන්නට අමිල යොදාගන්නේ උපදේශන ශෛලියක් නොවේ. වැදගත් වන්නේ එය යි. එබැවිනි ඔහු කවියකු වන්නේ. යකඩ යකුන් සමඟ ගැටෙන රුපියලේ කාසියට සිදුවන දෙය අද අපේ සමාජයට සිදු වී නොමැත්තේ ද?

“පුන්කලස් - වී කරල්
ඉර හඳ
සිංහ රුව - ධර්ම චක්‍රය
දැන් එහි - ඒ කිසිත් නැත”


අපට සැබෑවට ම සිදුවී තිබෙන්නේ එය ම නොවන්නේ ද? සත්‍යය ඉදිරියේ කිසිවක් තේරුම්ගත නොහැකි පරිද්දෙන් කවි ලියනවාට වඩා නොලියන එක හොඳ යැ යි අමිල රටේ ම කවියන්ට හඬ ගා කියයි.
ශ්‍රී ලාංකේය කවි කෙතට විටින් විට මනාලියන් කැඳවාගෙන ආ බැව් දනිමු. වරෙක කැන්දාගෙන ආ ඇය ගැමි මනාලියක් වූවා ය. ඇය බොළඳ ය. ලජ්ජාශීලී ය. නමුත් නිරහංකාර ය. තවත් වරෙක ගෙනා මනාලිය සංකර ය. ඇගේ ගති පැවතුම්, සිතුවිලි සියල්ල සංකර ය. තවත් වරෙක මනාලියකැ යි සිතා ගෙනාවේ නපුංසකයෙකි. එයින් සිදු වූයේ කවිය දෙස නොබලා හිරිකිතයෙන් අහක බලා ඉන්නට ය. අමිල තේනුවර ගෙනා හෝඩි පොතේ මනාලිය අපේ කවි කෙතට අලුත් ම මනාලියකි. අපි ඒ නැවුම් සුන්දර මනාලිය දෙස බලාපොරොත්තු දල්වාගෙන නෙතු නොපියා බලා සිටින්නෙමු.


No comments:

Post a Comment

පුරාධ්වනිවිද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකේය ප්‍රවේශය කුමක් විය යුතු ද?

පුරාධ්වනිවිද්‍යාව ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයට ආමුඛ වන නව්‍ය විෂයයක් වූවද ඒ සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පසුබිම අද්‍යතනයේ ගොඩනැගෙමින් පැවතීම...